මෛත්‍රි භාවනාව වැඩිමෙ ආනිසං



යෝච අන්තමසෝ ගන්ධූහනමත්තම්පි මෙත්තං චිත්තං
භාවෙය්‍ය, ඉදං තතෝ මහප්ඵලතරං
(අංගුත්තර නවක - වේලාම සූත‍්‍රය)

අප බෝසත් වේලාම බ‍්‍රාහ්මණයා විසින් රන්-රිදී-අමුරන් පුරවන ලද රනින්-රිදියෙන් හා අමුරනින් නිම කළ පාත‍්‍ර 84000 බැගින් දන් දිණි. මෙලෙසම එකිනෙකක් 84000 බැගින් ඇතුන්, රිය,පලස්, බුමුතුරුණු ආදිය ද දන් දෙන ලදී. වස්ත‍්‍ර කෝටි 84000 ක් දන් දිණි. ගඟක් ගලන්නා සේ ආහාර පාන දන් දිණි. මේ සියළු දාන දීමෙන් ලැබෙන විපාක ශක්තියට වඩා වැඩි පිනක් සෝවාන් වූ එක් කෙනකුට ආහාර වේලක් දන් දීමෙන් ලැබේ. සෝවාන් වූ 100 කුට දෙන දානයට වඩා සකදාගාමී වූ එක් අයකුට දෙන දානය මහත්ඵල ය. සෝවාන් 100 කටත්,සකෘදාගාමී 100 කටත් දෙන දානයට වඩා වැඩි පිනක් එක් අනාගාමී කෙනකුට දීමෙන් ලැබේ. සෝවාන් 100 කටත්,සකෘදාගාමී 100 කටත්, අනාගාමී 100 කටත් දෙන ලද දානයට වැඩි පුණ්‍ය ශක්තියක් රහත් වූ එක් අයකුට දීම තුළින් අත් වේ.සෝවාන්-සකදාගාමී-අනාගාමී-අරහත් 100  දෙනා බැගින් 400 කට දෙන ලද දානයෙන් ලැබෙන විපාක ශක්තිය ඉක්මවා,එක් පසේබුදු කෙනකුට දෙන ලද දානයෙන් ලැබෙනා පින මහත්ඵල මහානිශංස වේ. මේ සෑම දානයක් ම කෙනකු දුන්නත් සම්මා සම්බුදු කෙනකුට පිරිනමනු ලබන දානය ඒ සෑම පිනකට ම වඩා මහත්ඵලදායක ය. ඊටත් වඩා, බුදුරදුන් ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට දෙන ලද සාංඝික දානය උසස් ය. ඊටත් වඩා මහත් පිනක් සිව් දෙසින් වඩනා භික්ෂූන් උදෙසා වෙහෙරක් කරවා දන් දීමෙන් ලැබේ. ඊටත් වඩා වැඩි පිනක් පංසිල් මැනවින් ආරක්ෂා කිරීමෙන් ලැබෙනු ඇත.

මේ සෑම කුශලයක් ම කෙනකු සිදු කළත්, ඒ සෑම පුණ්‍ය ශක්තියක් ම අභිභවා යමින්, ඉතා සුළු කාලයක් හෝ මෛත‍්‍රි ධ්‍යාන සිතක් උපදවා ගෙන සිටින්නකුට ලැබෙන පුණ්‍ය සම්භාරය අති මහත් ය. ඊටත් වඩා මහත්ඵල වන්නේ, නිත්‍ය සංඥාව දුරු කරමින් අනිත්‍ය සංඥාව ප‍්‍රත්‍යක්‍ෂ ලෙස අත් දැකීමෙනි. වේලාම සූත‍්‍රයේ දැක්වෙන ඉහත සඳහන් කරුණු අනුව මෛත‍්‍රි ධ්‍යාන සිතක් උපදවා ගෙන සිටීම තුළින් ලැබෙනා පුණ්‍ය ශක්තිය කෙතරම් ද කියා තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇත.

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය,
භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්ථුකතාය,
අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා
පාටිකඕඛා.

(අංගුත්තර ඒකදසක නිපාත - මෙත්තානිසංස සූත‍්‍රය)
මෛත‍්‍රී ධ්‍යාන සිත් භාවිතා කිරීමෙන්, නැවත නැවත ප‍්‍රගුණ කිරීමෙන්, වශීකෘත කිරීමෙන් ආනිශංස 11 ක් බලාපොරොත්තු විය හැක. එනම් :


  1. සුඛං සුපති - සුවසේ නිඳාගත හැක. 
  2. සුඛං පටිබුජ්ඣති - සුවසේ අවදි වේ.
  3. න පාපකං සුපිනං පස්සති - නපුරු සිහින නො පෙනේ.
  4. මනුස්සානං පියෝ හෝති - මනුෂ්‍යයන්ට ප‍්‍රිය වේ.
  5. අමනුස්සානං පියෝ හෝති - අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වේ.
  6. දේවතා රක්ඛන්ති - දෙවියන් ආරක්ෂා කෙරේ.
  7. නාස්ස අග්ගී වා විසං වා සත්ථං වා කමති - ගිනි, වස - විෂ, ආයුධ විපත් නො වේ.
  8. තුවටං චිත්තං සමාධියති - ඉක්මණට සිත සමාධිමත් වේ.
  9. මුඛවණ්ණෝ විප්පසීදති - මුහුණ ප‍්‍රසාදජනක වේ.
  10. අසම්මූළ්හෝ කාලං කරොති - නො මුලාව මරණයට පත් වේ.
  11. උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ‍්‍රහ්මලෝකූපගෝ හෝති -රහත් නො වුවහොත් මරණින් මතු බ‍්‍රහ්ම ලෝකයේ උපදී. 




This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola